යහපත් දැකීම, නිවැරදි දැකීම, අවිපරීත දර්ශනය, සම්‍යක් දර්ශනය, යථාර්ථ දර්ශනය ආදී නොයෙක් නම්වලින් සම්මා දිට්ඨිය හඳුන්වනු ලැබේ. කම්මස්සකතා සම්මා දිට්ඨිය සහ චතුසච්ච සම්මා දිට්ඨිය යනුවෙන් සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදේ.
කම්මස්සකතා සම්මා දිට්ඨිය: කර්මය සහ කර්මඵලය පිළිබඳව ඇති අවබෝධයයි.
චතුසච්ච සම්මා දිට්ඨිය: චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති අවබෝධයයි.
කම්මස්සකතා සම්මාදිට්ඨිය
1. අත්ථි දින්නං (දීමෙහි විපාක ඇත)
මෙයින් අනුග්‍රහ බුද්ධියෙන් දීම අදහස් කරයි. දුප්පත් කෙනෙකුට, අසරණ කෙනෙකුට, නැති බැරි කෙනෙකුට යමක් දෙන්නේ ඔහුට අනුග්‍රහ කිරීම පිණිසයි; හෙවත් උපකාර කිරීම පිණිසයි. එබඳු දීම් මෙම සම්මා දිට්ඨියට ඇතුළත්ය. අසරණ අහිංසක දුප්පත් කෙනෙකුට යමක් දීම පිනක් බව විශ්වාස කිරීම "අත්ථි දින්නං" යන සම්මා දිට්ඨියයි.
2. අත්ථි යිට්ඨං (පූජා බුද්ධියෙන් දීමෙහි විපාක ඇත)
තමාට වඩා සීලයෙන් උසස්, ගුණයෙන් උසස් අය කෙරෙහි යමක් දීම, පරිත්‍යාග කිරීම, ත්‍යාග කිරීම යාගය, පූජාව මේ නමින් හඳුන්වයි. සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය සලකාගෙන නොව, ඔවුන්ගේ සීලවන්ත බව ගුණවන්ත බව සලකාගෙනය.
සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දුන් විට අපේ ජීවිතයට මහා පිනක් රැස්වෙයි. වැඩිපුර පින් ලැබෙන්නේ ද අවශ්‍යතාවය ඇති කෙනාට දීමෙන් නොවේ; සිල්වත් කෙනාට දීමෙන්ය.
3. අත්ථි හුතං (ආශීර්වාද පතා දෙන දානයෙහි විපාක ඇත)
අත්ථි හුතං යනු මහා යාගයේ විපාක ඇතැයි සැලකීමයි. යාගය යනු කුමක්ද? ආශීර්වාද පතා දෙන දානය යාගය නමින් හඳුන්වයි. පුරාතනයේ පටන් මිනිසුන් ආශීර්වාදය පතා නොයෙක් දානමය පිංකම් සිදු කළහ. උපන්දිනය සමරා දන් දුන්නහ; විවාහ සංවත්සරය සමරා දන් දීම සිදු කළහ. ගෙයකට මුල්ගල් තැබීම, උළුවස්ස තැබීම, වහලය තැබීම, පදිංචි වීම වැනි අවස්ථාවලදී ද දන් දීම සිදු කළහ. සීල සමාදානයෙහි යෙදෙන පිරිස් වෙත ද දන්සල් පැවැත්වීම මේ කොටසට අයත් වේ.
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර බොහෝ අය බ්‍රහ්මයා උදෙසා පූජා පැවැත්වූහ. ඒවා "හුතං" යන වචනයෙන් අදහස් කරන ලදී. දෙවියන් උදෙසා පවත්වන ලද පූජාවන් ද ඒ නමින් හඳුන්වන ලදී. තථාගතයන් වහන්සේ ලොව පහළ වීමෙන් පසු එම පූජාවේ සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප නොකරම එයට නව අර්ථකථනයක් ඉදිරිපත් කළහ. ආශීර්වාද පතා යමක් දෙන විට එම පූජාව හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ "හුතං" යන වචනය භාවිතා කරන ලදී.
යෝ ච වස්සසතං ජන්තු - අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං -භාවිතත්තානං මුහුත්තමපි
පූජයේ සා යේව පූජනා සෙය්‍යෝ - යඤ්චෙ වස්සසතං හුතං.
යන ධම්මපදයේ සඳහන් වෙන ගාථාවෙන්, පුරාණ බ්‍රාහ්මණවරුන් විසින් දෙවියන් උදෙසා කරන ලද පූජා "හුතං" යනුවෙන් හඳුන්වන ලද බවත්, වසර සියයක් එබඳු පූජා පැවැත්වීමටත් වඩා, භාවිත ආත්මභාව ඇති, ශීලාදී ගුණ සම්පන්න වූ, දුර සිට වුවත් යමක් ගෙන විත් පිදීමට සුදුසු වූ ආහුණෙය්‍ය ගුණ ඇති උතුමන්ට මොහොතක් වුවත් දන් දීම සුදුසු වන බව දේශනා කළහ.
එබැවින් ආශීර්වාද පතා දෙන දානයත්, ආහුණෙය්‍ය හෙවත් යමක් දුර සිට ගෙනවිත් පිදීමට සුදුසු අය උදෙසා කරන පූජාවත් උතුම් බව (විපාක ඇති බව) විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි.
4. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ (හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත)
යහපත් ලෙස කරන ලද දෙය හෙවත් කුසලය තුළ ද, අයහපත් ලෙස කරන ලද දෙය හෙවත් අකුසලය තුළ ද විපාක ඇති බව විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි. කුසල කර්ම අකුසල කර්ම පිළිගැනීමත්, කුසල විපාක අකුසල විපාක පිළිගැනීමත් අබුද්ධෝත්පාද කාලයේදී පවා නුවණැතියන් අතර තිබුණ ඉතා හොඳ ගුණධර්මයකි.
5. අත්ථි අයං ලෝකෝ (පරලොව සිටි තැනැත්තාට මෙලොවක් ඇත)
මින් අදහස් කරන්නේ අතීත සංසාර ගමන විශ්වාස කිරීමයි, පිළිගැනීමයි. මව්පියන් නිසාම පමණක්ම ඉපදුණ බව භෞතිකවාදීන්, හෙවත් භෞතික විද්‍යාව ගුරු කරගත් අය සිතති. එහෙත් එය මිත්‍යාදෘෂ්ටියකි. සෑම සත්ත්වයෙකුටම අතීත සංසාර ගමනක් තිබුණේය.
පටන් ගත්ත කෙළවරක් ද නොපෙනෙන බව සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ:
"අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බාකෝටි න පඤ්ඤායති"
(මහණෙනි, සසර පටන් ගත්ත කෙළවර නොපෙනේ.)
යනුවෙන් බුදුරජාණන් වහන්සේ සසරෙහි දීර්ඝ බව ද දේශනා කළහ. අතීත සසරක් පැවති බව පිළිගැනීම මෙම සම්මා දිට්ඨියයි. අතීතයේ සිටි කෙනෙකු මියගොස්, කර්මානුරූපව මෙලොව උපත ලද බව විශ්වාස කිරීම මින් අදහස් කරයි.
6. අත්ථි පරෝ ලෝකෝ (මෙලොව සිටි තැනැත්තාට පරලොවක් ඇත)
පරලොවක් ඇත, හෙවත් මරණින් මතු උපතක් සිදුවෙයි යන්න විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි. භෞතිකවාදීහු මතු උපතක් පිළිනොගනිති. මරණින් මතු ජීවිතය නිමාවන්නේ යැයි සිතති; උච්ඡේද දෘෂ්ටිය යනු ද මේමය. උච්ඡේද දෘෂ්ටිය ඇතිව සිටීම බලවත් වූ පාප ධර්මයකි. මක්නිසාද යත්, පරලොව නොපිළිගන්නා බැවින් හොඳින් හෝ නරකින් හෝ පංච ඉන්ද්‍රියන් පිනවීමටම ඔවුන් යොමු වන බැවිනි. සත්ත්වයා මරණින් මතු නැවත නැවත උපත ලබයි. එසේ ඉපදීමේදී කර්මානුරූපව එය සිදු වෙයි.
ගබ්බමේකේ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති - පරිනිබ්බන්ති අනාසවා
යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත්තේ: මරණයට පත්වන සමහර අය මව්කුසක් තුළ උපදින බවයි. පව් කරන තැනැත්තෝ නිරයට යති (නිරය යන්නෙන් සතර අපායම විස්තර වන බව තේරුම් ගත යුතුය). පින් කරන තැනැත්තෝ සුගතියෙහි උපත ලබති (සුගතිය යනු මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක හය මෙන්ම බ්‍රහ්ම ලෝක දහසය හැඳින්වීමට යොදන නමකි). කෙලෙසුන් නැසූ නිකෙලෙස් උතුමෝ පිරිනිවණට පත්වෙති, යන්න ඉහත සඳහන් කරන ලද ගාථාවේ සරල අර්ථයයි.
7. අත්ථි මාතා
මව ඇත; මින් අදහස් කරන්නේ මවට කරන ලද උපකාරයෙන් කුසල් රැස්වන බවත්, මව උදෙසා නොසැලකීමෙන් පාප ධර්ම සිදුවන බවත්ය.
8. අත්ථි පිතා
පියා ඇත; හෙවත් පියතුමාට උපකාර කිරීමෙන්, සැලකීමෙන් පින් ලැබේ; නොසැලකීමෙන් පාප ධර්ම සිදුවෙයි.
අතීතයේ පටන් මව්පියන්ට නොසලකන දරුවෝ ලොව තුළ සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන් හැඳින්වීමට "වසලයා" යන වචනය භාවිතා කළහ.
යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං ජඤ්ඤා වසලෝ ඉති
යම්කිසි කෙනෙක් යොවුන් බව ඉක්මවා ගිය, දිරන ලද ශරීර ඇති මවට හෝ පියාට හැකියාව තිබියදී නොසලකන්නේ නම්, ඔහු වසලයෙක් යැයි දත යුතුය. "වසලයා" යනු ඉතා පහත් කෙනෙකු හැඳින්වීම සඳහා යොදන ලද වචනයකි. පුරාණ භාරතයෙහි පහත් වූ කුලහීනයන් හැඳින්වීමට මෙම වචනය භාවිතා කළහ. එම කුලහීනයන්ට තම නිවසට ඇතුල් වීමටවත්, ඇඳ පුටු ආදියෙහි වාඩි වීමටවත් ඉඩ දුන්නේ නැත; ගෙදර ඉදිරිපස පිලෙහි වාඩි කරවා, ඔවුන් උදෙසාම ඇති වෙනම පිඟන් කෝප්පවලින් ආහාර පාන දීම සිදු කළහ; ගෙට වද්දා ගත්තේ නැත. මව්පියන්ට නොසලකන තැනැත්තා ද වසලයෙකි. ඔවුන් කෙතරම් පහත් දැයි කිවහොත්, ගෙයක් තුළට වද්දා ගැනීමටවත් සුදුසු නැති තරම් පහත් පුද්ගලයෝය. මව්පියන්ට නොසලකන තැනැත්තා එබඳු පහත් ස්වභාවයකට පත්වෙන බව බුද්ධිමත් අය විසින් ඉතා මැනවින් තේරුම් ගෙන මව්පිය උපස්ථානයෙහි යෙදිය යුතුය.
යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං පරාභවතෝ මුඛං
යම්කිසි කෙනෙකු, දිරන ලද ශරීර ඇති යොවුන් බව ඉක්මවා ගිය මව්පියන්ට හැකියාව තිබියදී නොසලකයි නම් එය පිරිහීමේ දොරටුවකි යනුවෙන් පරාභව සූත්‍රයේදී දේශනා කළහ. එම දේශනාව අනුව මව්පියන්ට නොසැලකීම මහා පාපකර්මයකි. එම පාප කර්මය අද හෙටම විපාක දෙන්නේ නැත; විපාක දීම සඳහා පාපය මේරීමට කලක් ගත වේ.
"යදා ච පච්චතී පාපං - අථ පාපෝ පාපානි පස්සති"
යනුවෙන් ධම්මපදයෙහි, පව් මේරීමෙන් පසු පව් කළ තැනැත්තා දුකට පත්වන බව දේශනා කොට ඇත. මව්පියන්ට නොසැලකීම නම් වූ පාප කර්මය මෝරා විපාක දීමට සුදුසු අවස්ථාවට පැමිණි කල්හි, මව්පියන්ට නොසලකන ලද දරුවා මහත් වූ පරිහානියට පත්වන්නේය. ශරීර ශක්තියෙන් ද, නීරෝගී බවෙන් ද, කීර්තිමත් බවෙන් ද, ධන සම්පත්වලින් ද, වෙනත් දූ දරුවන්ගේ සැලකීම් ආදියෙන් ද පරිහානියටම පත්වන්නේය. අව පක්ෂයෙහි හඳ මඩල දිනෙන් දින පිරිහෙන්නා සේ, ඔවුන්ගේ ලෞකික සැප සම්පත් ද පිරිහීමට පත්වේ. එතැනින් නොනැවතී මරණින් මතු නිරයෙහි උපත ලබයි.
"මාතා පිතූ උපට්ඨානං - ඒතං මංගල මුත්තමං"
යනුවෙන් බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානය උතුම් මංගල කරුණක් බව දේශනා කළහ. මව්පිය උපස්ථානය මෙලොව යහපත පිණිස උපකාර වන, පරලොව සුගතිය පිණිස උපකාර වන, සසර දුක නිමාකොට අමා නිවන ලැබීමට උපකාර වන ශ්‍රේෂ්ඨ පිනකි. එබැවින් එය මංගල කාරණාවකි.
යෝ මාතරං වා පිතරං වා - මච්චෝ ධම්මේන පෝසති
තාය නං පාරිචරියාය - මාතාපිතුසු පණ්ඩිතා
ඉධේව නං පසංසන්ති - පෙච්ච සග්ගේ පමෝදති
යනුවෙන් යම්කිසි කෙනෙක් මව්පියන් පෝෂණය කිරීම සිදුකරයි ද, දෙවියෝ ඔහුට ගරු කරති. මරණින් මතු සුගතියෙහි ඉපදීම සැප සම්පත් ලබා සතුටු වෙති; මෙලොවම ප්‍රශංසා ලබති යනුවෙන් ද අංගුත්තර නිකායේ තික නිපාතයේ දක්වා ඇත.
ගිහි පින්වතුන්ට අයිති ප්‍රතිපත්ති පූජාව දක්වන තථාගතයන් වහන්සේ, "මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති" යනුවෙන් මව්පිය උපස්ථානය ප්‍රතිපත්ති පූජාවක් බව දේශනා කළහ. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍ර අට්ඨකථාවේ සඳහන් වෙයි. මේ අනුව මව්පිය උපස්ථානය ලෞකික වශයෙන් බොහෝ සැප සම්පත් ලැබීමට හේතුවෙන මහා කුසලයකි. එහි ආනිසංස වශයෙන්ම මෙලොව සතුටෙන් ජීවත්වීමට අවකාශ සැලසේ, මරණින් මතු සුගතිගාමී වෙයි, සසර දුක නිමාකොට අමා නිවනින් සැනසීමට ද හේතුවන මහා ප්‍රතිපත්ති පූජාවක් බවට පත්වෙයි. එය සෘජුවම නිවන් දකින්නට හේතුවන මහා කුසලයකි.
9. අත්ථි සත්තා ඕපපාතිකා (ඕපපාතිකව උපදින සත්ත්වයන් ඇත)
ඕපපාතික සත්ත්වයන් යන වචනය බොහෝ දෙනෙකු සාමාන්‍ය ව්‍යවහාරයේදී "ඉබේ පහළ වන සත්ත්වයන්" යනුවෙන් හඳුන්වනු ලබයි. එහෙත් ඉබේ පහළ වන සත්ත්වයෝ නැත. සත්ත්වයෝ පහළ වෙන්නේ කර්මයට අනුරූපවය.
"සංඛාර පච්චයා විඤ්ඤාණං" යනුවෙන් ද කුසලාකුසල කර්ම හේතු කරගෙන ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් හටගන්නා බව දක්වා තිබේ. "භව පච්චයා ජාති" යනුවෙන් ද කර්මය හේතු කරගෙනම ඉපදීම සිදුවන බව දක්වා තිබේ.
එසේ නම් ඕපපාතික සත්ත්වයින් යනු ඉබේ පහළ වන සත්ත්වයින් නොවේ. කර්මානුරූපව, අංග සම්පූර්ණ ශරීර ඇතුව, මැරුණු මොහොතේ එකෙනෙහිම පහළ වන්නා වූ සත්ත්වයන් ඕපපාතික සත්වයෝය. නිරයේ ද, ප්‍රේත ලෝකයේ ද, අසුර අපායේ ද, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ද ඕපපාතික උපත සිදුවේ.
10. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා... (ලොව උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින බව පිළිගැනීම)
"අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති."
එහි සරල අර්ථය: මෙලොව සහ පරලොව යන උභය ලෝකයම තමන්ගේම විශිෂ්ට ඥානයෙන් (ප්‍රත්‍යක්ෂ ලෙස) අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, අන් අයට ද එය දේශනා කරන, නිවැරදි මඟට පිළිපන් (සම්මා පටිපන්න) උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් (බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා) ලොව සිටින බව පිළිගැනීමයි.
බුදුරජාණන් වහන්සේලා ඇති කාලයෙහි ද බුදුරජාණන් වහන්සේලා නැති කාලයෙහි ද මෙම සම්මා දිට්ඨිය නැති පුද්ගලයෝ ලොව තුළ සිටිති. බුද්ධෝත්පාද කාලවල ද අබුද්ධෝත්පාද කාලවලදී ද මෙම සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෝ ද ලොව තුළ සිටිති.
බුද්ධ කෝලාහලය සහ මහා පුරුෂ ලක්ෂණ:
අට්ඨකථාවන්ට අනුව බුදු කෙනෙක් පහළ වීමට වසර දහසකට පෙර බ්‍රහ්මරාජයෙක් මනුලොවට පැමිණියේය. ඔහු මිනිසුන්ට පෙනෙන සේ අහසින් ඇවිදිමින්, "තව වසර දහසකින් බුදු කෙනෙක් පහළ වෙතැයි" ප්‍රකාශ කළහ. මෙම බ්‍රහ්මරාජයා විසින්ම, බුද්ධත්වයට පත්වෙන තැනැත්තා ඉපදීමෙන් පසුව ඔහුගේ අංග ලක්ෂණ පරීක්ෂා කර බලා බුද්ධත්වයට පත්වන්නේ ද නැද්ද යන්න තේරුම් කරගත හැකි බව ද ප්‍රකාශ කළහ. බුද්ධත්වයට පත් වෙන කෙනෙකුගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බවත්, ඒවා හඳුනාගන්නා ආකාරයත් ඉගැන්නූහ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අතරින් දෙබැම මැද්ද විශේෂයෙන් මතකයේ තබා ගත යුතුයි. නළල මැද නොව දෙබැම මැද, ඇහිබැමි දෙක මැද ඌර්ණ රෝම ධාතුව පිහිටයි. එම ඌර්ණ රෝම ධාතුව බුද්ධත්වයට පත්වෙන කෙනෙකුගේ දක්ෂිණාවර්තව (දකුණට) කැරකැවී ඇත. සක්විති රජ වන කෙනෙකුගේ එය වම් අතට (වාමාවර්තව) කරකැවී ඇත. ඒ අනුව මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා සක්විති රජ වන්නේ ද බුද්ධත්වයට පත්වන්නේ ද කියා නිශ්චිතව තේරුම් ගත හැකි බව ද ඉගැන්නූහ. එකල සිටි බ්‍රාහ්මණවරු එම ඉගැන්වීම් තමන්ගේ වේද ග්‍රන්ථවල ඇතුළත් කළහ. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව බ්‍රාහ්මණවරු ඉගෙන ගත්හ.
නම් තැබීමේ මංගල්‍යය සහ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ තීරණය:
සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව ද අංග ලක්ෂණ පරීක්ෂා කරන ලද රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බ්‍රාහ්මණවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දුටුවහ. ඔවුන් අතරින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා හැර අන් සියලු දෙනාගේ තීරණය වූයේ, සිදුහත් බෝසතුන් සක්විති රජ පදවිය හෝ බුද්ධත්වය ලබන බවයි (ඇඟිලි දෙකක් එසවීමෙන්). කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමන් පමණක් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත්වන බවට, ඌර්ණ රෝම ධාතුවේ විස්තරය ඉදිරිපත් කරමින් පැහැදිලි කළහ (එක් ඇඟිල්ලක් එසවීමෙන්).
සක්විති රාජ පදවිය ලැබුවත්, බුද්ධ රාජ්‍යය ලැබුවත් ලොවට යහපතක් (අර්ථයක්) සිදුකරනවා යන අර්ථයෙන් "සිද්ධාර්ථ" යන නම තැබූහ. මෙයින් පැහැදිලි වන්නේ බුදු කෙනෙකු ලෝකයේ පහළ වනවා යන උතුම් වූ අදහස අබුද්ධෝත්පාද කාලවලදී පවා සමහර මිනිසුන් විශ්වාස කළ බවයි.